Tuesday, September 9, 2014

මිරිගුවමයි ඔබ


                                             kavi sitha- Pathum Ranasinghe (click here)
 
නිර්මල කවිය‍ේ උල්පත් සිදලූ
කතරක සෙවණැළි පායා
පිපාසිතවු හද සුවපත් කළ
සීතල ගිනි දලුවක ස‍ේයා
විඩාබරව නවතින ඉම ක‍ොතැන‍ේ
මුවැත්තියකි ඔබ මායා
නිල් දෙනතෙින් මා නෙත මුදහල මැන
මිරිගුවමයි ඔබ චායා

Tuesday, September 2, 2014

කැළෑ මලේ කතන්දරේ

                          kala mal pipei( ගීයට සවන් දීමට පිවිසෙන්න)
උයන්තෙර පිපුණු රෝස මලටත්, වනන්තරේක පිපුණු කැළෑ මලටත් බඹරු එක වගේ ආසයි. ඒත් සුවඳ වෙනස්. කළෑ මලෙන් බඹරු පතන්නෙ රොන් විතරයි. මල හිතන්නෙ බඹරගෙ ආදරේ තමන්ට හිමියි කියල. ඉතින් ඒ කැළෑ මලේ කතන්දරේ සදාකල් හඩා වැළපීමයි.

කැළෑ මල් පිපෙයි සුවඳ දිදී තුරුවදුලේ වනන්තරේ
හමා ලොල් බඹර පිරිස ඇදෙයි මලින් මලට හිමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඩා වැළපීමයි කැළෑ මලේ කතන්දරේ

නගරෙන් හුඟක්ඈත වියළි කලාපයේ ඈත පිටිසර ගමක සෙව්වන්දි ඉපදුනේ. ඇයගේ දෛවයෙන් ඇයට උරුම උනේ ලස්සන රූපයක් විතරයි. ගමේ හැමෝම වගේ ඇගේ දෙමව්පියොත් හේන් ගොවියො. සුන්දර උයන් තෙරක පිපුණනම් ඇයට සෙව්වන්දියක්ම වෙන්න තිබුණ. නමුත් ඇය කැළෑ මලක්, කැලේ පිපිල කැලේම පරවෙන කැළෑ මලක්.

බාල වියේදීම ඇයගේ අවිහින්සක හිනාවට පෙම් බැන්ද ගමේම තරුණයෙකුට ඇය බහ දුන්න. එතකොටත් ඇය පිපීගෙන එන මලක් වගේ ලාබාල වයසෙ. හැම නවයොවුන් තරුණියකට වගේම ඇයටත් තිබුණ හීන ලෝකයක්. ඒ හීන ලෝකෙ හොයාගෙන තමයි ඇය පාසල් අධ්‍යාපනයටත් ආයුබෝවන් කියල කටුනායක වෙළඳ කලාපෙට ආවෙ.

ඉපදෙන්න‍ටත් කලින් මියදුණ හීනයක් වගේ පරාජිත හැඟීමකින් සෙව්වන්දි කලාපෙ බෝඩිමක කටුක ජීවිතේට ටික ටික හුරු උණා. අරුමෝසම් පිරුණු නාගරික ජීවිතේට ඇය ආස කළා. හෙමින් හෙමින් ගම අමතක වෙද්දි තමන්ගෙ පාළුව තනිකම මකන්න රාජකුමාරයෙක් තමන්ව හොයාගෙන එයි කියල ඇය හිතන්න ඇති.

සළෙල දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැළෑ මලෙක කතාවයි

වැඩි දවසක් යන්න කලින් අජානීය අස්පයෙකුගෙ පිට නැගල තමන් වටේ කැරකුණු ඉමිටේෂන් කුමාරයෙකුට ඇය තමන්ගෙ හිත සින්නක්කරවම ලියල දුන්න. හිත විතරක් නෙවෙයි ඇගේ කයත් සින්නක්කරවම ලියා ගන්න ඒ කුමාරයට වැඩි දවසක් මහන්සි වෙන්න උනේ නෑ. "මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි" කියන එක කැළෑ මල අමතක කළා.

නාගරික පහළ මධ්‍යම පාන්තික ඉමිටේෂන් කුමාරයට ඕන උනේ මලේ රොන්වල සුවඳ විතරයි. මීවිතක් මුව ගෑවුණු හැන්දෑවක ඉමිටේෂන් කුමාරය ඒ කැළෑ මලේ කතන්දරේ මට කිව්ව. හරිම උපේක්ෂාසහගතව.

හැමදාම වගේ එදා හැන්දෑවෙත් මම මේ සින්දුව කිව්ව. සුනිල් එදිරිසිංහයන් වගේ රහට ගයන්න බැරි උණාට මිතුරන් අතරේ ගෙවෙන බොහෝ වෙලාවන් වලදි මේ ගීය මිමිණෙනව. ගැමි සංගීත නාද රටාවන් වලින් ගීතය වටා තීව්‍ර වෙන අරුතට මම බොහොම කැමතියි. ඉමිටේෂන් කුමාරයත් අඩවන් දෑසින් මේ ගීතය විදින විදිය දුම් වලා අතරින් මම දැක්ක.

ළදුනි ඔබෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල් මෙ ළදුන් අතරතුරේ වාසනාවන්

මල් පිපෙන්නෙ බඹරුන්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම සුවද දෙන්න. මත් බඹරු හදන්නෙ ලස්සන ලස්සන මල් හොයාගෙන හැමදාම පියඹන්න. මලේවත් බඹරගෙවත් වැරැද්දක් නෑ. ඒ ලෝක ධර්මතාවය. පිපී නැලවෙන සුවහසක් කැළෑ මල් වෙනුවෙන් සුනිල් එදිරිසිංහයන්ගෙම ගීයක පදවැලක් සිහිවෙනව.
    හිදීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් ඔබේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා මග බලාගෙන හිදින්

Friday, August 22, 2014

පාට එළලුවන් පුතනුව

          ඇසෙන නෑසෙන සියගණනක් වූ කපුගේ ගීතාවලියෙ නෑසෙන ගොන්නට වැටෙන ඉතාම සංවේදී අරුත්බර ගීතයක්. පියගුණ ගී, පියා විසින් පුතුට ගැයූ ගී අතර මේ ගීතය සුවිශේෂියි. පියෙකු හා පුතකු අතර දිගහැරෙන
සංවාදයක්.

pata elaluwan puthanuwa

             පියවරු පුතුන්ට ආදරයෙන් අමතන්නෙ සූදූ කියල. හැබැයි සිංහල අපි සුදු නෑ. අපේ සහජ උරුමය තළඑළලු පැහැය. ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට පවා එය උරුමයි. ඔවුන් කෙතරම් සිංහල සභ්‍යත්වයෙන් විතැන් වෙන්න
හැදුවත් මතක තබා ගත යුතුයි මුස්ලිම්වරුන්ගේ මාතෘ ජාන සිංහලයට නෑකම් කියන බව. එළලුවන් පැහැති සිය ආදරණීය පුතුගෙන් පියකු ප්‍රශ්න තුනක් අහනව.
ඔබ සිරස නමන්නේ කොතනද?
දෙදණ නමන්නේ කොතනද?
දෝත නගන්නේ කාටද?

සීතාවක අලගියවන්න මුකවෙටි පඬිතුමා සුභාෂිතයෙ,
    "පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ"
        කියල ලියල තියනව. අවුරුදු දහස් ගණනක් වැටි වැටී නැගිට්න්න ජාතියකට හයිය දුන්නෙ එවැනි පුතුන්. ජාතක කරපු මව්පියන්ට පින්සිද්ධ වෙන්න ඒ ලේවල ශක්තිය වර්තමාන
පුතුන්ටත් උරුමයි.

             පුතාගෙන් ලැබෙනව හරි අපූරු උත්තර තුනක්. පියාගේ හඩ විදියට අපිට ඇහෙන්නෙ කපුගේගෙ සහෘද රලු ගැඹුරු ස්වරය. හැමදාම ශ්‍රී ලංකාවෙ නිර්ධන පන්තියේ ප්‍රතිමූර්තීන් පිළිඹිඹු කරන හඩ පෞරුෂය
කපුගේගෙ. එදා ඉදන් අද දක්වාම කොච්චර තරු බිහිවුනත් ඒ තරම් හදවතට දැනෙන හඩක් පිහි උනේ නෑ. මිත්‍ර කපුගේට වත් පිහිටල නැති තරම්.

          උපන්දා ඉදන් පුතුන්ගේ පවස සන්සිදෙන්නෙ මව් ළමැද මිහිරි මව් කිරි උල්පතෙන්. බිළිදු පුතුන් පිපාසය සන්සිදුවන මව්කිරෙහි උල්පත වන්නේත්, ජීවිත කාලය පුරාම පුතුන් සනසවන සෙනෙහසේ දිය ගංගාවට උල්පත වන්නේත් මව් ළමැද. බලන්න ඉතාම විචිත්‍ර රූපක යොදා ඇති අපූරුව.
    "නීල කදු ළමැද අතරේ නිම්න භූමියේ
    මීරි මව්කිරෙන් ඉපදුණූ වතුර උල්පතයි "
        මාතෘත්වයේ සංකේතයක් වන පියවුරු කාම සංකේතයක් වෙලා තියන යුගයක ඒ සදහා දී ඇති වටිනාකම ඉතා සංවේදියි. ඉතින් පුතකු තමන්ගේ ඔළුව පහත් කරන්නෙ ඒ මව් ළමැද සෙනෙහසේ උල්පතින් දිය පොදක් බී සැනසෙන්න විතරයි.

         සමාජය කියන රළු පොලෝ තලයෙ අපේ ජීවිත හරියට නිදිකුම්බ ගාලක් වගේ. එකිනෙකා පැටලිලා විස කටු පිරිල. කිසිම ලස්සනක් නැති නිදිකුම්බ මල් අතරෙම ලස්සන වනමල් පූදිනව. සමණලුන්ට පුළුවන්
නිදිකුම්බ මල් මගඇරල ලස්සන මල් හොයාගන්න
    "වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
    රලු පොළෝ ගැබේ ප්‍රේමය පිපී සිනාසේ"
        උන්නතිකාමයට යට උණු තරුණ ජීවිත ඇතුලෙ ආදරය උපදින්නෙත් නිදිකුම්බ කටු පදුරකින් මතුඋණු ලස්සන වන මලක් වගේ. පුතෙක් දණ නැමිය යුත්තේ ඒ ආදරය කියන  මල සිපගන්න. මලේ සුවදින් ජීවිතය සුවදවත් කරගන්න, නැවුම් මල්වලට ජීවය දෙන්න.

          වර්තමානයේ පුතුන්ට පිටකොදු බිදගත් නිවටයො වගේ ධනය බලය ඉදිරියේ දෝත නගන්න සිදුවෙලා. ඊට එරෙහිව නැගී සිටීම, අයුක්තිය අසාධාරණය ඉදිරියේ පහන් ටැඹක් වගේ නැගී සිටීම වත්මක් තරුණ පරපුරේ ෆැන්ටසි හීනයක් විතරයි. අපි කොච්චර සිංහනාද කළත් ඒක තමයි ඇත්ත. තමන්ගෙ හෘධ සාක්ෂියට එකඟව පොළොවෙ පයගහල ජීවත් වීමේ අයිතිය අපි හැමෝගෙන්ම ඈත් වෙලා ගිහින්. අපි සැබැවින්ම දෝත
නැගිය යුත්තේ කොතනද?
    "පා පැකිළ වැටී බෙලසුන් වී අගාධයේ
    මිනිසත්කම දණින් වැටුණු දුක්බර යාමේ"
        මිනිසත්කම කියන උත්තම ගුණය සමාජයේ අයුක්තිය, අසාධාරණය, අවනීතිය කියන අන්ධකාරයේ වෙළිල පය පැටළිලා දණින් වැටුණු වෙලාවෙ ඒ උත්තම මිනිසත්කම  නගා සිටුවීමටයි පුතකු දෝත නැගිය යුත්තෙ. කාගෙ කියමනක්ද කියල මතක නැති,මම කොහෙදි හරි කියවපු අගනා වැකියක් මතකෙට එනව.
    "යුගයේ ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඩතාවයයි."
        බහුතරයක් මිනිසුන් හදවතින් අසාධාරණයට එරෙහි වුවත් සුළුතර බලවතුන් ඉදිරියේ ඔවුන් නිවටයන් වගේ මුව වසාගෙන. අන්ධකාරයේ සිටිනවට වඩා එක් පහනක් දැල්වීම ගොඩක් වටිනව. ඉතින් අපිත් වරද දුටු තැන තනි තනිව නැගී සිටිමු. එය ලෝකයටම ආරම්භයක් වේවි.

මම මේ ගීතය කවදාවත් රේඩියෝ, ටෙලිවිෂන් වැනි මාධ්‍යන්වල ප්‍රචාරය වෙනව අහල නෑ. මේ ගීතය ලිව්වෙ කවුද? සංගීතවත් කළේ කවුද? කියලත් දන්නෙ නෑ.  ගීතය පුරා පුතුගේ හඩ මුසු කරන්නෙ කවුද කියල
දන්නෙත් නෑ. (මට හිතෙන්නෙ ඒ රෝහණ වීරසිංහ) ඉතින් මෙය කියවපු ඔබ මේ ගීතය ගැන යමක් දන්නවනම් අපි හැමෝටම දැනගන්න ඒක අපිට එවන්න.