Friday, August 22, 2014

පාට එළලුවන් පුතනුව

          ඇසෙන නෑසෙන සියගණනක් වූ කපුගේ ගීතාවලියෙ නෑසෙන ගොන්නට වැටෙන ඉතාම සංවේදී අරුත්බර ගීතයක්. පියගුණ ගී, පියා විසින් පුතුට ගැයූ ගී අතර මේ ගීතය සුවිශේෂියි. පියෙකු හා පුතකු අතර දිගහැරෙන
සංවාදයක්.

pata elaluwan puthanuwa

             පියවරු පුතුන්ට ආදරයෙන් අමතන්නෙ සූදූ කියල. හැබැයි සිංහල අපි සුදු නෑ. අපේ සහජ උරුමය තළඑළලු පැහැය. ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට පවා එය උරුමයි. ඔවුන් කෙතරම් සිංහල සභ්‍යත්වයෙන් විතැන් වෙන්න
හැදුවත් මතක තබා ගත යුතුයි මුස්ලිම්වරුන්ගේ මාතෘ ජාන සිංහලයට නෑකම් කියන බව. එළලුවන් පැහැති සිය ආදරණීය පුතුගෙන් පියකු ප්‍රශ්න තුනක් අහනව.
ඔබ සිරස නමන්නේ කොතනද?
දෙදණ නමන්නේ කොතනද?
දෝත නගන්නේ කාටද?

සීතාවක අලගියවන්න මුකවෙටි පඬිතුමා සුභාෂිතයෙ,
    "පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ"
        කියල ලියල තියනව. අවුරුදු දහස් ගණනක් වැටි වැටී නැගිට්න්න ජාතියකට හයිය දුන්නෙ එවැනි පුතුන්. ජාතක කරපු මව්පියන්ට පින්සිද්ධ වෙන්න ඒ ලේවල ශක්තිය වර්තමාන
පුතුන්ටත් උරුමයි.

             පුතාගෙන් ලැබෙනව හරි අපූරු උත්තර තුනක්. පියාගේ හඩ විදියට අපිට ඇහෙන්නෙ කපුගේගෙ සහෘද රලු ගැඹුරු ස්වරය. හැමදාම ශ්‍රී ලංකාවෙ නිර්ධන පන්තියේ ප්‍රතිමූර්තීන් පිළිඹිඹු කරන හඩ පෞරුෂය
කපුගේගෙ. එදා ඉදන් අද දක්වාම කොච්චර තරු බිහිවුනත් ඒ තරම් හදවතට දැනෙන හඩක් පිහි උනේ නෑ. මිත්‍ර කපුගේට වත් පිහිටල නැති තරම්.

          උපන්දා ඉදන් පුතුන්ගේ පවස සන්සිදෙන්නෙ මව් ළමැද මිහිරි මව් කිරි උල්පතෙන්. බිළිදු පුතුන් පිපාසය සන්සිදුවන මව්කිරෙහි උල්පත වන්නේත්, ජීවිත කාලය පුරාම පුතුන් සනසවන සෙනෙහසේ දිය ගංගාවට උල්පත වන්නේත් මව් ළමැද. බලන්න ඉතාම විචිත්‍ර රූපක යොදා ඇති අපූරුව.
    "නීල කදු ළමැද අතරේ නිම්න භූමියේ
    මීරි මව්කිරෙන් ඉපදුණූ වතුර උල්පතයි "
        මාතෘත්වයේ සංකේතයක් වන පියවුරු කාම සංකේතයක් වෙලා තියන යුගයක ඒ සදහා දී ඇති වටිනාකම ඉතා සංවේදියි. ඉතින් පුතකු තමන්ගේ ඔළුව පහත් කරන්නෙ ඒ මව් ළමැද සෙනෙහසේ උල්පතින් දිය පොදක් බී සැනසෙන්න විතරයි.

         සමාජය කියන රළු පොලෝ තලයෙ අපේ ජීවිත හරියට නිදිකුම්බ ගාලක් වගේ. එකිනෙකා පැටලිලා විස කටු පිරිල. කිසිම ලස්සනක් නැති නිදිකුම්බ මල් අතරෙම ලස්සන වනමල් පූදිනව. සමණලුන්ට පුළුවන්
නිදිකුම්බ මල් මගඇරල ලස්සන මල් හොයාගන්න
    "වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
    රලු පොළෝ ගැබේ ප්‍රේමය පිපී සිනාසේ"
        උන්නතිකාමයට යට උණු තරුණ ජීවිත ඇතුලෙ ආදරය උපදින්නෙත් නිදිකුම්බ කටු පදුරකින් මතුඋණු ලස්සන වන මලක් වගේ. පුතෙක් දණ නැමිය යුත්තේ ඒ ආදරය කියන  මල සිපගන්න. මලේ සුවදින් ජීවිතය සුවදවත් කරගන්න, නැවුම් මල්වලට ජීවය දෙන්න.

          වර්තමානයේ පුතුන්ට පිටකොදු බිදගත් නිවටයො වගේ ධනය බලය ඉදිරියේ දෝත නගන්න සිදුවෙලා. ඊට එරෙහිව නැගී සිටීම, අයුක්තිය අසාධාරණය ඉදිරියේ පහන් ටැඹක් වගේ නැගී සිටීම වත්මක් තරුණ පරපුරේ ෆැන්ටසි හීනයක් විතරයි. අපි කොච්චර සිංහනාද කළත් ඒක තමයි ඇත්ත. තමන්ගෙ හෘධ සාක්ෂියට එකඟව පොළොවෙ පයගහල ජීවත් වීමේ අයිතිය අපි හැමෝගෙන්ම ඈත් වෙලා ගිහින්. අපි සැබැවින්ම දෝත
නැගිය යුත්තේ කොතනද?
    "පා පැකිළ වැටී බෙලසුන් වී අගාධයේ
    මිනිසත්කම දණින් වැටුණු දුක්බර යාමේ"
        මිනිසත්කම කියන උත්තම ගුණය සමාජයේ අයුක්තිය, අසාධාරණය, අවනීතිය කියන අන්ධකාරයේ වෙළිල පය පැටළිලා දණින් වැටුණු වෙලාවෙ ඒ උත්තම මිනිසත්කම  නගා සිටුවීමටයි පුතකු දෝත නැගිය යුත්තෙ. කාගෙ කියමනක්ද කියල මතක නැති,මම කොහෙදි හරි කියවපු අගනා වැකියක් මතකෙට එනව.
    "යුගයේ ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඩතාවයයි."
        බහුතරයක් මිනිසුන් හදවතින් අසාධාරණයට එරෙහි වුවත් සුළුතර බලවතුන් ඉදිරියේ ඔවුන් නිවටයන් වගේ මුව වසාගෙන. අන්ධකාරයේ සිටිනවට වඩා එක් පහනක් දැල්වීම ගොඩක් වටිනව. ඉතින් අපිත් වරද දුටු තැන තනි තනිව නැගී සිටිමු. එය ලෝකයටම ආරම්භයක් වේවි.

මම මේ ගීතය කවදාවත් රේඩියෝ, ටෙලිවිෂන් වැනි මාධ්‍යන්වල ප්‍රචාරය වෙනව අහල නෑ. මේ ගීතය ලිව්වෙ කවුද? සංගීතවත් කළේ කවුද? කියලත් දන්නෙ නෑ.  ගීතය පුරා පුතුගේ හඩ මුසු කරන්නෙ කවුද කියල
දන්නෙත් නෑ. (මට හිතෙන්නෙ ඒ රෝහණ වීරසිංහ) ඉතින් මෙය කියවපු ඔබ මේ ගීතය ගැන යමක් දන්නවනම් අපි හැමෝටම දැනගන්න ඒක අපිට එවන්න.

No comments:

Post a Comment