Tuesday, September 9, 2014

මිරිගුවමයි ඔබ


                                             kavi sitha- Pathum Ranasinghe (click here)
 
නිර්මල කවිය‍ේ උල්පත් සිදලූ
කතරක සෙවණැළි පායා
පිපාසිතවු හද සුවපත් කළ
සීතල ගිනි දලුවක ස‍ේයා
විඩාබරව නවතින ඉම ක‍ොතැන‍ේ
මුවැත්තියකි ඔබ මායා
නිල් දෙනතෙින් මා නෙත මුදහල මැන
මිරිගුවමයි ඔබ චායා

Tuesday, September 2, 2014

කැළෑ මලේ කතන්දරේ

                          kala mal pipei( ගීයට සවන් දීමට පිවිසෙන්න)
උයන්තෙර පිපුණු රෝස මලටත්, වනන්තරේක පිපුණු කැළෑ මලටත් බඹරු එක වගේ ආසයි. ඒත් සුවඳ වෙනස්. කළෑ මලෙන් බඹරු පතන්නෙ රොන් විතරයි. මල හිතන්නෙ බඹරගෙ ආදරේ තමන්ට හිමියි කියල. ඉතින් ඒ කැළෑ මලේ කතන්දරේ සදාකල් හඩා වැළපීමයි.

කැළෑ මල් පිපෙයි සුවඳ දිදී තුරුවදුලේ වනන්තරේ
හමා ලොල් බඹර පිරිස ඇදෙයි මලින් මලට හිමින්සැරේ
සිනා රැල් නැගෙයි ගිගිරි නදින රේණු සැලෙයි නිරන්තරේ
සදා කල් හඩා වැළපීමයි කැළෑ මලේ කතන්දරේ

නගරෙන් හුඟක්ඈත වියළි කලාපයේ ඈත පිටිසර ගමක සෙව්වන්දි ඉපදුනේ. ඇයගේ දෛවයෙන් ඇයට උරුම උනේ ලස්සන රූපයක් විතරයි. ගමේ හැමෝම වගේ ඇගේ දෙමව්පියොත් හේන් ගොවියො. සුන්දර උයන් තෙරක පිපුණනම් ඇයට සෙව්වන්දියක්ම වෙන්න තිබුණ. නමුත් ඇය කැළෑ මලක්, කැලේ පිපිල කැලේම පරවෙන කැළෑ මලක්.

බාල වියේදීම ඇයගේ අවිහින්සක හිනාවට පෙම් බැන්ද ගමේම තරුණයෙකුට ඇය බහ දුන්න. එතකොටත් ඇය පිපීගෙන එන මලක් වගේ ලාබාල වයසෙ. හැම නවයොවුන් තරුණියකට වගේම ඇයටත් තිබුණ හීන ලෝකයක්. ඒ හීන ලෝකෙ හොයාගෙන තමයි ඇය පාසල් අධ්‍යාපනයටත් ආයුබෝවන් කියල කටුනායක වෙළඳ කලාපෙට ආවෙ.

ඉපදෙන්න‍ටත් කලින් මියදුණ හීනයක් වගේ පරාජිත හැඟීමකින් සෙව්වන්දි කලාපෙ බෝඩිමක කටුක ජීවිතේට ටික ටික හුරු උණා. අරුමෝසම් පිරුණු නාගරික ජීවිතේට ඇය ආස කළා. හෙමින් හෙමින් ගම අමතක වෙද්දි තමන්ගෙ පාළුව තනිකම මකන්න රාජකුමාරයෙක් තමන්ව හොයාගෙන එයි කියල ඇය හිතන්න ඇති.

සළෙල දනන් කුල්මත් කළ ඔමරි ලතාවයි
මල් උයනේ සුවඳ සැදූ කිදුරු ලතාවයි
මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි
මේ සුපිපුණු එවන් කැළෑ මලෙක කතාවයි

වැඩි දවසක් යන්න කලින් අජානීය අස්පයෙකුගෙ පිට නැගල තමන් වටේ කැරකුණු ඉමිටේෂන් කුමාරයෙකුට ඇය තමන්ගෙ හිත සින්නක්කරවම ලියල දුන්න. හිත විතරක් නෙවෙයි ඇගේ කයත් සින්නක්කරවම ලියා ගන්න ඒ කුමාරයට වැඩි දවසක් මහන්සි වෙන්න උනේ නෑ. "මලක් පිපී හිනැහෙන්නේ එකම වතාවයි" කියන එක කැළෑ මල අමතක කළා.

නාගරික පහළ මධ්‍යම පාන්තික ඉමිටේෂන් කුමාරයට ඕන උනේ මලේ රොන්වල සුවඳ විතරයි. මීවිතක් මුව ගෑවුණු හැන්දෑවක ඉමිටේෂන් කුමාරය ඒ කැළෑ මලේ කතන්දරේ මට කිව්ව. හරිම උපේක්ෂාසහගතව.

හැමදාම වගේ එදා හැන්දෑවෙත් මම මේ සින්දුව කිව්ව. සුනිල් එදිරිසිංහයන් වගේ රහට ගයන්න බැරි උණාට මිතුරන් අතරේ ගෙවෙන බොහෝ වෙලාවන් වලදි මේ ගීය මිමිණෙනව. ගැමි සංගීත නාද රටාවන් වලින් ගීතය වටා තීව්‍ර වෙන අරුතට මම බොහොම කැමතියි. ඉමිටේෂන් කුමාරයත් අඩවන් දෑසින් මේ ගීතය විදින විදිය දුම් වලා අතරින් මම දැක්ක.

ළදුනි ඔබෙන් තොර ලොවකට නොමැත සිනාවන්
නෙත රසදුන් මියුරු වදන් නොමැත අමාවන්
මල් පත්තිනි අම්මාවරු වන් වනිතාවන්
මල් මෙ ළදුන් අතරතුරේ වාසනාවන්

මල් පිපෙන්නෙ බඹරුන්ට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම සුවද දෙන්න. මත් බඹරු හදන්නෙ ලස්සන ලස්සන මල් හොයාගෙන හැමදාම පියඹන්න. මලේවත් බඹරගෙවත් වැරැද්දක් නෑ. ඒ ලෝක ධර්මතාවය. පිපී නැලවෙන සුවහසක් කැළෑ මල් වෙනුවෙන් සුනිල් එදිරිසිංහයන්ගෙම ගීයක පදවැලක් සිහිවෙනව.
    හිදීවි කොතැනක හෝ
    හිමිකාරයා උපන් ඔබේ නමින්
    වඩීවි කෙදිනක හෝ
    ඒ එනතුරා මග බලාගෙන හිදින්

Friday, August 22, 2014

පාට එළලුවන් පුතනුව

          ඇසෙන නෑසෙන සියගණනක් වූ කපුගේ ගීතාවලියෙ නෑසෙන ගොන්නට වැටෙන ඉතාම සංවේදී අරුත්බර ගීතයක්. පියගුණ ගී, පියා විසින් පුතුට ගැයූ ගී අතර මේ ගීතය සුවිශේෂියි. පියෙකු හා පුතකු අතර දිගහැරෙන
සංවාදයක්.

pata elaluwan puthanuwa

             පියවරු පුතුන්ට ආදරයෙන් අමතන්නෙ සූදූ කියල. හැබැයි සිංහල අපි සුදු නෑ. අපේ සහජ උරුමය තළඑළලු පැහැය. ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට පවා එය උරුමයි. ඔවුන් කෙතරම් සිංහල සභ්‍යත්වයෙන් විතැන් වෙන්න
හැදුවත් මතක තබා ගත යුතුයි මුස්ලිම්වරුන්ගේ මාතෘ ජාන සිංහලයට නෑකම් කියන බව. එළලුවන් පැහැති සිය ආදරණීය පුතුගෙන් පියකු ප්‍රශ්න තුනක් අහනව.
ඔබ සිරස නමන්නේ කොතනද?
දෙදණ නමන්නේ කොතනද?
දෝත නගන්නේ කාටද?

සීතාවක අලගියවන්න මුකවෙටි පඬිතුමා සුභාෂිතයෙ,
    "පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    ගුණ ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ"
        කියල ලියල තියනව. අවුරුදු දහස් ගණනක් වැටි වැටී නැගිට්න්න ජාතියකට හයිය දුන්නෙ එවැනි පුතුන්. ජාතක කරපු මව්පියන්ට පින්සිද්ධ වෙන්න ඒ ලේවල ශක්තිය වර්තමාන
පුතුන්ටත් උරුමයි.

             පුතාගෙන් ලැබෙනව හරි අපූරු උත්තර තුනක්. පියාගේ හඩ විදියට අපිට ඇහෙන්නෙ කපුගේගෙ සහෘද රලු ගැඹුරු ස්වරය. හැමදාම ශ්‍රී ලංකාවෙ නිර්ධන පන්තියේ ප්‍රතිමූර්තීන් පිළිඹිඹු කරන හඩ පෞරුෂය
කපුගේගෙ. එදා ඉදන් අද දක්වාම කොච්චර තරු බිහිවුනත් ඒ තරම් හදවතට දැනෙන හඩක් පිහි උනේ නෑ. මිත්‍ර කපුගේට වත් පිහිටල නැති තරම්.

          උපන්දා ඉදන් පුතුන්ගේ පවස සන්සිදෙන්නෙ මව් ළමැද මිහිරි මව් කිරි උල්පතෙන්. බිළිදු පුතුන් පිපාසය සන්සිදුවන මව්කිරෙහි උල්පත වන්නේත්, ජීවිත කාලය පුරාම පුතුන් සනසවන සෙනෙහසේ දිය ගංගාවට උල්පත වන්නේත් මව් ළමැද. බලන්න ඉතාම විචිත්‍ර රූපක යොදා ඇති අපූරුව.
    "නීල කදු ළමැද අතරේ නිම්න භූමියේ
    මීරි මව්කිරෙන් ඉපදුණූ වතුර උල්පතයි "
        මාතෘත්වයේ සංකේතයක් වන පියවුරු කාම සංකේතයක් වෙලා තියන යුගයක ඒ සදහා දී ඇති වටිනාකම ඉතා සංවේදියි. ඉතින් පුතකු තමන්ගේ ඔළුව පහත් කරන්නෙ ඒ මව් ළමැද සෙනෙහසේ උල්පතින් දිය පොදක් බී සැනසෙන්න විතරයි.

         සමාජය කියන රළු පොලෝ තලයෙ අපේ ජීවිත හරියට නිදිකුම්බ ගාලක් වගේ. එකිනෙකා පැටලිලා විස කටු පිරිල. කිසිම ලස්සනක් නැති නිදිකුම්බ මල් අතරෙම ලස්සන වනමල් පූදිනව. සමණලුන්ට පුළුවන්
නිදිකුම්බ මල් මගඇරල ලස්සන මල් හොයාගන්න
    "වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
    රලු පොළෝ ගැබේ ප්‍රේමය පිපී සිනාසේ"
        උන්නතිකාමයට යට උණු තරුණ ජීවිත ඇතුලෙ ආදරය උපදින්නෙත් නිදිකුම්බ කටු පදුරකින් මතුඋණු ලස්සන වන මලක් වගේ. පුතෙක් දණ නැමිය යුත්තේ ඒ ආදරය කියන  මල සිපගන්න. මලේ සුවදින් ජීවිතය සුවදවත් කරගන්න, නැවුම් මල්වලට ජීවය දෙන්න.

          වර්තමානයේ පුතුන්ට පිටකොදු බිදගත් නිවටයො වගේ ධනය බලය ඉදිරියේ දෝත නගන්න සිදුවෙලා. ඊට එරෙහිව නැගී සිටීම, අයුක්තිය අසාධාරණය ඉදිරියේ පහන් ටැඹක් වගේ නැගී සිටීම වත්මක් තරුණ පරපුරේ ෆැන්ටසි හීනයක් විතරයි. අපි කොච්චර සිංහනාද කළත් ඒක තමයි ඇත්ත. තමන්ගෙ හෘධ සාක්ෂියට එකඟව පොළොවෙ පයගහල ජීවත් වීමේ අයිතිය අපි හැමෝගෙන්ම ඈත් වෙලා ගිහින්. අපි සැබැවින්ම දෝත
නැගිය යුත්තේ කොතනද?
    "පා පැකිළ වැටී බෙලසුන් වී අගාධයේ
    මිනිසත්කම දණින් වැටුණු දුක්බර යාමේ"
        මිනිසත්කම කියන උත්තම ගුණය සමාජයේ අයුක්තිය, අසාධාරණය, අවනීතිය කියන අන්ධකාරයේ වෙළිල පය පැටළිලා දණින් වැටුණු වෙලාවෙ ඒ උත්තම මිනිසත්කම  නගා සිටුවීමටයි පුතකු දෝත නැගිය යුත්තෙ. කාගෙ කියමනක්ද කියල මතක නැති,මම කොහෙදි හරි කියවපු අගනා වැකියක් මතකෙට එනව.
    "යුගයේ ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඩතාවයයි."
        බහුතරයක් මිනිසුන් හදවතින් අසාධාරණයට එරෙහි වුවත් සුළුතර බලවතුන් ඉදිරියේ ඔවුන් නිවටයන් වගේ මුව වසාගෙන. අන්ධකාරයේ සිටිනවට වඩා එක් පහනක් දැල්වීම ගොඩක් වටිනව. ඉතින් අපිත් වරද දුටු තැන තනි තනිව නැගී සිටිමු. එය ලෝකයටම ආරම්භයක් වේවි.

මම මේ ගීතය කවදාවත් රේඩියෝ, ටෙලිවිෂන් වැනි මාධ්‍යන්වල ප්‍රචාරය වෙනව අහල නෑ. මේ ගීතය ලිව්වෙ කවුද? සංගීතවත් කළේ කවුද? කියලත් දන්නෙ නෑ.  ගීතය පුරා පුතුගේ හඩ මුසු කරන්නෙ කවුද කියල
දන්නෙත් නෑ. (මට හිතෙන්නෙ ඒ රෝහණ වීරසිංහ) ඉතින් මෙය කියවපු ඔබ මේ ගීතය ගැන යමක් දන්නවනම් අපි හැමෝටම දැනගන්න ඒක අපිට එවන්න.

Wednesday, August 13, 2014

ලියතඹරා...

සුභාවිත ගීයත් භාවිත ගීයත් වෙන් කෙරෙන සීමාව කුමක්ද?ආතත,විතත,විතතාතත,ඝණ, සුසර නද
යොදමින් රාගයෙන් උපන් පමණින්,ගැඹුරු උස් හඩින් ගැයූ පමණින් ගීයක් සුභාවිත වේද?
ගැයූ ගායකයාගෙන්වත්,ලියූ කවියාගෙන්වත්,යෙදූ සංගීතයෙන් වත් ගීයක් මනින්න බෑ. ඒක මගේ මතය.
ඒ නිසාවෙන්ම එක එක රැළිවලට අහු වෙලා ගහගෙන ගිහිපු අරුත්බර ගී රාශියක් සිංහල ගීතය සතුයි.කලාවේ
පරිහානි යුගයක් ලෙස විචාරකයන් හුවා දක්වන 90 දශකයේ මුල බිහිවූ සමාජයේ අනම්‍ය ස්ථාවරත්වයක්
ලබාගත් මේ ගීතය බලන්න.

athma in rupawahini


දැහැනට සමවැදිග ඉන්න තවුස්වරුන්ගේ සිල් බිදින්න මනුදූන්ට තියා දෙව් දූන්ටවත් බැරි උනත් ලියතඹරා මල
දැකල ඒ සිල් බිදෙනවලු. ස්ත්‍රී සිරුරේ ලාලිත්‍යට උරුම හැඩයක් ඇති මේ මල පිපෙන්නෙ හිමාල අඩවියේ
කියලයි කියන්නෙ.

ස්ත්‍රී ප්‍රතිරූපය පුරුෂ සන්තානය තුළ අනුරාගයත් සෙනෙහසත් අතර දෝලනය වෙනව.ගැහැණියකගේ දෙපා
මුලින් ජීවය ලබන මිනිසා තවත් ගැහැණියකගේ දෙපා මුලට යන්නෙ රාගයේ උණුසුම හොයා‍ගෙන.ආදරයත්
අනුරාගයත් අතර තියන බැදීම තේරුම් ගන්නට තරම් මම තාම පරිණත මදි.ඒත් ස්ත්‍රියකගේ සෙනෙහසේ
උණුසුම වගේම අනුරාගයේ උණුසුමත් මානව වර්ගයාගේ පැවැත්මට අවශ්‍යයි.ඒක ජීව විද්‍යාත්මකයි,
නැත්නම් ලෝකයේ එතනින් එහා පැවැත්මක් නෑ.

ගෝර්කි කියනව ලෝකය පවතින්නෙ "මවගේ කිරිවලින් හා හිරුගේ උණුසුමෙන්"කියල.ස්ත්‍රීත්වයේ අගනාවන් මාතෘත්වයට විතරක් ලඝු කරන්න එපා.ඇය විටෙක මවක්,සොහොයුරියක්.විටෙක බිරිදක් මිතුරියක්.ඒ කෙසේ වුවත් ඇයත් පණ ගැහෙන හැඟීම් දැනීම් ඇති,ආසාවන් ඇති ලෞකික ජීවියෙක්.

මේ ගීතය තුළ ගැහැණිය වෙනුවෙන් උපමා රූපක රාශියක් දීල.වරෙක ලියතඹරා මලෙකට සමාන කරනව,තවත් වරෙක ලෝකයේ ජීවය කියල කියනව.මායාවකට ,හීනයකට ,වීණා ස්වරයකට වගේම හද මත් කරවන

මුළු ගීතය පුරාම අරගෙන ආපු ධ්වනිතාර්ථයන් සියල්ලක්ම අවසාන පද පේළියේ කැටි ‍වෙලා. දිය පොදක්
නැතිව කතරක තනි උනොත්,කෙසේ ගැට ගසා ගන්නද පණනළ.ඇය ජීවිත කාන්තාරය තරණය කරන මිනිසෙකුට දිය පොදක්.ඒ දිය පොදෙන් ඔහු පවස සන්සිදේවි. නව ජීවයක් රැගෙන ඒවි.හැබැයි මතක තියාගන්න ඒ දියෙන්ම තමයි වරෙක රුදුරු වෙස් අරගෙන ඉවුරුතලා පිටාර යන මහ ගංගාවන් හැදෙන්නෙ.

මේකෙ පදරචකය රෝහණ ජයසිංහ.ඔහුගේ අපට ඇහුණ එකම පදවැල මේක. ආත්මගෙ ඔගන් සංගීතය හා තනුව අපට මේ ගීතය එක්ක ආත්මීය බැදීමක් ඇති කරනව.වර්ෂ 1990දී ආත්මා සංගීත ලෝකයට බිහි උනේ ලියතඹරා මලෙන්.කාලයත් එක්ක ආත්මගෙ හඩත් වියපත් වෙලා. මේ ගීතයත් පසුකාලීනව සංගීත රටාව වෙනස් කරමින් කීපවරක් නව හඩ මුසු කිරීම්වලට ලක්වුණා.ඒත් මම තාමත් කැමති ලියතඹරා කැසට් එකට ආත්මා ගායනා කරපු මුල් ශෛලියට. ඇත්තටම එදා හඩ ආත්මීයයි. කවුරුහරි මට කිව්වොත් ඔබ කැමතිම ගීත 10ක් තෝරන්න කියල,ඒ ගීත ගොන්නෙ ලියතඔ‍රා තියේවි අනිවාර්යෙන්ම.
මධුවිතකට. මිරිඟුවකට ක්ෂිතිජයකට වගේම සුමුදු නෙත් සර යොමන බිඟු දැලක් වන් දෙනෙත් ඇත්තියකට.

Friday, August 8, 2014

හන්තාන අරණේ සංසාර සිහිනය...

                                                 
 සරසවි ප්‍රේම ගීතාවලියටම සින්න උණු හන්තාන තවමත් නව  යොවුන් වියේ. ඒත් එදා හන්තාන සිසාරා හමන සුළගෙන් සරසවි ප්‍රේමයට ගී ගැයූ හෙළයේ මහා ගාන්ධර්වයා වයෝවෘධ වියේ. සංසාරය එහෙමයි. තවත් දශක කීපයකින් උමාරියත් වයසට යාවි. හන්තාන එදාටත් අද වගේම පෙම්වතුන්ට සෙවණ දේවි, ප්‍රේම ගී කාව්‍යන් පෝෂණය කරාවි.

නෙත් අගින් රූරා වැටෙන කඳුලු බින්දු වලින් සිත කියන මල් අහුර දෝවනය කරල ඒ මල් එකින් එක අරගෙන ගොතන්න සංසාර සිහිනය, සංසාරය පුරා හැබෑ නොවුණු ආදරය කියන සංසාර සිහිනය. 

hanthana sihinaya
 ඔහුගේ ඇරයුම ඇයගේ කදුලට. ඇය වැළපෙන්නෙ ඔහුගෙ හිත කියන මග නෙලා ගන්න බැරුව. ඇයට ඒක
හීනයක්. සුන්දර වසන්තයේ හන්තාන පාමුල දැක්ක හන්තාන හීනයක්.

පරම්පරා ගාණක පෙම්වතුන් හන්තාන පාමුල කොච්චර හීන මවන්න ඇතිද. හැබෑ උණු හීනත් ඇති. හැබැයි හැමදාම කවියො ලිව්වෙ හැබෑ නොවුණු හීන ගැන විතරයි. ප්‍රේමයේ රහ තියෙන්නෙ විරහව ළගලු

ලංකාවේ සාහිත්‍ය, කලා ක්ෂේත්‍රෙය් එක් යුගයක් නිමවෙන්නෙ හන්තාන පාමුල.පේරාදෙණි යුගයේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු වැනි විශිෂ්ඨ නාට්‍ය මුලින්ම රඟ දැකිවුනේ සරසවියෙ එළිමහන් රංග පීඨයෙ. විශ්වවිද්‍යාල උප සංස්කෘතිය තුළ ඒක "වළ".මේ ගීතය පුරාවට හමන්නෙ යුගයක් නැළවූ ඒ සුවඳ මතකය.

වැහි බින්දු වැටෙන හැන්දෑවක රඟ මඩග මැද තුරුලු වෙන්න කරන ඇයගේ ප්‍රාර්ථනාව තුරුණු හඩකින් අපට ඇහෙද්දි අදරදේවයන්ගෙපරිණත වියපත් හඩින් අරුත් නැංවෙන්නෙ ඇයගේති ඔහුගේත් පරතරය. ආදරය කියන විෂය වයස කියන සාධකය වගේම ගුරු ගෝල බැදීම කියන සීමාවත් පරයා යනව.

බිසව හැර යාමෙන් හිස් උණු ඔහුගේ ජීවන රඟ මඩළ අමාවක අඳුරෙන් වැහිල.ජීවිතයේ එක් වරක් ප්‍රේමය අභියස පරාජය උණු ඔහුටතවත් වරක් ඒ කටුක වේදනාව දරන්නට තරම් හයියක් නැතිව ගිහින්. “මගේ ජීවිතයේ අදුර තුළ ඔබත් ගිලේවි.... ඔබට ඒ අන්ධකාරය දරාගන්න බැරි වේවි. නොඑනු මැනවි ළදුනි".

අමාවක අදුර මැකෙන්නෙ පුරා හඳ පෑයූ දවසට. ඔහුගේ ජීවිතයෙ අදුර මකන්න හැකි වෙන්නෙ ආදරය කියන හදට විතරයි. ඒත් ඔහුගේ ආදරය ඇය බලෙන් උදුර ගන්නද? ‘ඔබ සිත ප්‍රේමයේ සඳ කිරණින් සිසිල් වෙනකන් මං ඈතටම වෙලා ඉන්නම්. ඔබගේ ගී හඩ ඇහෙන මානයේ."

ප්‍රේමය සගවගත්ත සමහර හිත් ගල් වගේ. ඒත් ඇයගේ සොදුරු ඇරයුම ඉදිරියේ ඔහු කෙසේනම් සිය හැඟීම් හන්ගගෙන ඉන්නද..ඔහු ඇය සොයා යාවි සද දියේ ගිලෙමින්." ඔබත් මාත් හමුවුන් හන්තාන අරණටම වී මා එනතුරු හිදිනු මැනවි. හන්තාන අපට සෙවණ දේවි". එයයි ඔහුගේ සංසාර ප්‍රාර්ථනය.