Wednesday, August 13, 2014

ලියතඹරා...

සුභාවිත ගීයත් භාවිත ගීයත් වෙන් කෙරෙන සීමාව කුමක්ද?ආතත,විතත,විතතාතත,ඝණ, සුසර නද
යොදමින් රාගයෙන් උපන් පමණින්,ගැඹුරු උස් හඩින් ගැයූ පමණින් ගීයක් සුභාවිත වේද?
ගැයූ ගායකයාගෙන්වත්,ලියූ කවියාගෙන්වත්,යෙදූ සංගීතයෙන් වත් ගීයක් මනින්න බෑ. ඒක මගේ මතය.
ඒ නිසාවෙන්ම එක එක රැළිවලට අහු වෙලා ගහගෙන ගිහිපු අරුත්බර ගී රාශියක් සිංහල ගීතය සතුයි.කලාවේ
පරිහානි යුගයක් ලෙස විචාරකයන් හුවා දක්වන 90 දශකයේ මුල බිහිවූ සමාජයේ අනම්‍ය ස්ථාවරත්වයක්
ලබාගත් මේ ගීතය බලන්න.

athma in rupawahini


දැහැනට සමවැදිග ඉන්න තවුස්වරුන්ගේ සිල් බිදින්න මනුදූන්ට තියා දෙව් දූන්ටවත් බැරි උනත් ලියතඹරා මල
දැකල ඒ සිල් බිදෙනවලු. ස්ත්‍රී සිරුරේ ලාලිත්‍යට උරුම හැඩයක් ඇති මේ මල පිපෙන්නෙ හිමාල අඩවියේ
කියලයි කියන්නෙ.

ස්ත්‍රී ප්‍රතිරූපය පුරුෂ සන්තානය තුළ අනුරාගයත් සෙනෙහසත් අතර දෝලනය වෙනව.ගැහැණියකගේ දෙපා
මුලින් ජීවය ලබන මිනිසා තවත් ගැහැණියකගේ දෙපා මුලට යන්නෙ රාගයේ උණුසුම හොයා‍ගෙන.ආදරයත්
අනුරාගයත් අතර තියන බැදීම තේරුම් ගන්නට තරම් මම තාම පරිණත මදි.ඒත් ස්ත්‍රියකගේ සෙනෙහසේ
උණුසුම වගේම අනුරාගයේ උණුසුමත් මානව වර්ගයාගේ පැවැත්මට අවශ්‍යයි.ඒක ජීව විද්‍යාත්මකයි,
නැත්නම් ලෝකයේ එතනින් එහා පැවැත්මක් නෑ.

ගෝර්කි කියනව ලෝකය පවතින්නෙ "මවගේ කිරිවලින් හා හිරුගේ උණුසුමෙන්"කියල.ස්ත්‍රීත්වයේ අගනාවන් මාතෘත්වයට විතරක් ලඝු කරන්න එපා.ඇය විටෙක මවක්,සොහොයුරියක්.විටෙක බිරිදක් මිතුරියක්.ඒ කෙසේ වුවත් ඇයත් පණ ගැහෙන හැඟීම් දැනීම් ඇති,ආසාවන් ඇති ලෞකික ජීවියෙක්.

මේ ගීතය තුළ ගැහැණිය වෙනුවෙන් උපමා රූපක රාශියක් දීල.වරෙක ලියතඹරා මලෙකට සමාන කරනව,තවත් වරෙක ලෝකයේ ජීවය කියල කියනව.මායාවකට ,හීනයකට ,වීණා ස්වරයකට වගේම හද මත් කරවන

මුළු ගීතය පුරාම අරගෙන ආපු ධ්වනිතාර්ථයන් සියල්ලක්ම අවසාන පද පේළියේ කැටි ‍වෙලා. දිය පොදක්
නැතිව කතරක තනි උනොත්,කෙසේ ගැට ගසා ගන්නද පණනළ.ඇය ජීවිත කාන්තාරය තරණය කරන මිනිසෙකුට දිය පොදක්.ඒ දිය පොදෙන් ඔහු පවස සන්සිදේවි. නව ජීවයක් රැගෙන ඒවි.හැබැයි මතක තියාගන්න ඒ දියෙන්ම තමයි වරෙක රුදුරු වෙස් අරගෙන ඉවුරුතලා පිටාර යන මහ ගංගාවන් හැදෙන්නෙ.

මේකෙ පදරචකය රෝහණ ජයසිංහ.ඔහුගේ අපට ඇහුණ එකම පදවැල මේක. ආත්මගෙ ඔගන් සංගීතය හා තනුව අපට මේ ගීතය එක්ක ආත්මීය බැදීමක් ඇති කරනව.වර්ෂ 1990දී ආත්මා සංගීත ලෝකයට බිහි උනේ ලියතඹරා මලෙන්.කාලයත් එක්ක ආත්මගෙ හඩත් වියපත් වෙලා. මේ ගීතයත් පසුකාලීනව සංගීත රටාව වෙනස් කරමින් කීපවරක් නව හඩ මුසු කිරීම්වලට ලක්වුණා.ඒත් මම තාමත් කැමති ලියතඹරා කැසට් එකට ආත්මා ගායනා කරපු මුල් ශෛලියට. ඇත්තටම එදා හඩ ආත්මීයයි. කවුරුහරි මට කිව්වොත් ඔබ කැමතිම ගීත 10ක් තෝරන්න කියල,ඒ ගීත ගොන්නෙ ලියතඔ‍රා තියේවි අනිවාර්යෙන්ම.
මධුවිතකට. මිරිඟුවකට ක්ෂිතිජයකට වගේම සුමුදු නෙත් සර යොමන බිඟු දැලක් වන් දෙනෙත් ඇත්තියකට.

2 comments: